Monday, September 2, 2013

මම සඳට ආදරය කරමි

මම කුඩා දරුවකුව සිටින විට එක අමාවක දිනෙක දිදුලන තරු පිරි අහස දෙස බලා, මවගෙන් තරුවක් ඉල්ලා හැඩුවෙමි. මව මට රන් තැටියක කිරි පැණියි අරගෙන එන හඳ මාමා ගැන රසවත් කතාවක් කීව මට අද මෙන් මතකය.

අද හඳ මාමා කොතනදැයි විමසු විට ඇය පැවසුවේ අද තරු වලට ඉඩ දී හද මාමා හැංගී ඇති බවයි. හඳ මාමා එසේමලු, තරු වලට රිසි සේ දිදුලන්න දවසක් වෙන් කරයි ලු. නමුත් හෙට ඉඳන් මාමා කුඩා මා දෙස සෙනෙහසින් බලනු ඇතැයි මව කීවාය.

තරු ඉල්ලා හැඩු මම හෙට එන සඳ දෙස බලාපොරොත්තු දල්වා බලා සිටියෙමි.

පසුදින හඳ මාමා සියුම් ඉරක් ලෙස දිස්වන්නට වන් කල, නැවත මම මවුගෙන් සඳ ඉල්ලා දෙන මෙන් ඇවිටිලි කලෙමි. ඇය පැවසුයේ, එය තව ලස්සන වන බවත් දැන් කඩා ගතහොත් එහි ලස්සන බලා ගත නොහැකි බවත් ය. මව සැමවිටම නිවැරදිය. මගේ සිතට සද ගැන, සදෙහි හෙට දවස ගැන බලාපොරොත්තුවක් පළමු වතාවට උපදිනි. එයම සද එකවර අයිති නොකර ගෙන හෙට දින අයිති කර ගැනීමේ සිතුවිල්ල ම තුල ජනිත කරවීමට සමත් විය.

පසු දින හඳ වඩාත් පෙනුමකින් දිස් වුවද මව පැවසුයේ, තව දවසක් ඉවසා බලන ලෙසය.

කාලය සෙමින් දිනෙන් දින ගෙවිනි.
සඳ දිනෙන් දින සිය හැඩය රවුම් කරගනිමින් පෙනී සිටියි. සද එකවර අයිති කර ගැනීම පසෙකින් තබා මම සදෙහි හැඩය, එහි වෙනස් වීම නිරික්සන්නට වීමි. එම වෙනස් වීම මා හට, හෙට කෙසේ වේ දැයි යන කුතුහලය සිතෙහි පැන නැගවීමට සමත් කරයි. සදෙහි හෙට දින ගැන, සද මා බලාපොරොතු සහගත කරවීය.

එක් වැහිබර දිනෙක, සඳ වලාකුලකින් වසා ගති. බියපත් වූ මම හඬමින් මව ගෙන් හද හාමිට වූ දෙය විමසා සිටියෙමි. ඇය තැන්පත් සිතින් එය තාවකාලික වලාවකින් වසා ගැනීමක් බවත්, සද හාමි නැවතත් පෙර මෙන් බබලනු ඇතැයි පහදා දුන්නා ය. මම නැවතත්, සද වලාවෙන් එලියට අදින්න දැයි ඇසු විට ඈ පැවසුයේ, මට කල හැක්කේ බලා සිටීම පමණක් බවයි. කාලය විසින් සඳ වලාවෙන් එලියට ඇද දමනු ලැබීය.

පසළොස්වක දින උදා විය. දින 15ක් නිරීක්ෂණය කල සඳ දැන් මගේ ම යැයි මට සිතිනි. මම සඳෙහි සියලු හැසිරීම් දන්නේ යැයි ද මට සිතිනි. රන් තැටියක් සේ ඉතා ලංව දිස්වන සදෙහි, ඉතා අලංකාර ලෙස සාවෙකු නිර්මාණය කර තිබිණි. ඉතාමත් ම ආලෝකමත් ය. මගේ සඳ කඩා ගැනීමට කදිම දිනය මෙයයි. මම මවගෙන් අවසර ඉල්ලුවෙමි. නමුත් ඇය පැවසුයේ, සද මගේ යැයි මට සිතුනද, එහි පහස තවත් අය ලබන බවයි. ඔවුන් වෙනුවෙන් මගේ සඳ මට නොකඩා පරිත්‍යාග කිරීමට ඇය ආයාචනය කළාය. සඳ අතට ගතහොත් එය දිය වී ය හැකි ලු. සඳ මගේ යැයි සිතුන ද මගේ ම නොවේය යැයි මට සිතුනි.

පසළොස්වකින් පසු සඳ කෙමෙන් කෙමෙන් සිය හැඩය වෙනස් කර ගන්නා අයුරු මම දුටිමි. මව පැවසුයේ එය එහි හැටි ය යන්නය. එය ලෝකයේ රටාව ලු. සඳ, තරු වලට බබලන්නට එලෙස ඉඩ දෙනවාලු. එහෙත් සඳෙහි සුන්දරත්වයේ අඩුවක් මට නොපෙනිණි. කළු වලාවෙන් වැසුණු සඳ, ඉන් මිදී නැවතත් බබලයි.

මසක අවෑමෙන් යලිත් අමාවක එලබී සද හැන්ඟුනි. නමුත්, සඳ තරු ගැන සිතා එයට ඉඩ දී හැඟුණ ද, හෙට දින යලිදු මෝදු වන බව මට විශ්වාසය. එම බලාපොරොත්තුව මා කුල්මත් කරවයි.

මම සඳට ආදරය කරමි

 මදක් සිතන්න. සඳ යනු ඔබ ආදරය කරන ඔබේ ජීවිතය ද? ඉහත විස්තරයේ සඳ වෙනුවට ඔබගේ ජීවිතය යන වචනය යොදා බලන්න. ජීවිතයේ ඇති හැල හැප්පීම්, පරාර්ථය, වෙනස් වන සුළු සොබාව, බලාපොරොත්තු සහගත බව, තමනට ද අයිති නැති බව සදෙහි ඔබ දුටුවෙහි ද. අමාවකින් පසු මෝදු වන සඳ ඔබේ ජීවිතයේ අලුත් පිටුවක් යැයි සිතිය නොහැකි ද?

එදා මම දුටු රන් තැටියට කිරියි පනියි ගෙනා සඳ හාමි, අද මට ජීවිතය ලෙස පෙනෙද්දී, මව එදින ද සඳ ජීවිතය ලෙස දැක්කේ දැයි මට සිතේ. මා ඇයගෙන් සදෙන් උගත් ජීවිතය ගැන තවත් ඉගෙන ගත යුතු ය.

නමුත් අවාසනාව ට ඇය අද ජීවතුන් අතර නැත. සඳ කළු වලාවකින් වැසුණු විට එය එලියට ඇදීමට වෙනත් ක්‍රමයක් ඈ සොයා ගත් බව මට විශ්වාසය. ඇය සිටියා නම් එය මට කියා දෙනු ඇත. පමා නොවී මවුගෙන් ජීවිතය ඉගෙන ගැනීම ඔබ පසුතැවීමෙන් දුරස් කරවයි.

2 comments:

  1. සඳ පමණක් නොවේ උදේට පය සවසට බැසයන හිරුත් අපෞඅ කියා දෙන්නේ ජිවිතයේ යථාර්තයයි.

    ReplyDelete
  2. පියුම හිරුට මිස සඳුට අයිති නැත තරු සුදිලේ ඝන අඳුරු රැයේ......

    ReplyDelete

හිතෙන දේ කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න‍

කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...