අද සටහන (18/08/2025)
ලොහාන් රත්වත්තේ මැරිල ලු. මම දුවගෙන ගොස් මගේ නැන්දනියට (බිරිඳ ගේ මවට) පවසමි. ඒ Google Transcribe (මෙය අප කතා කරන එක ලියවෙන phone එකේ තියන Android යෙදවුමක්) හරහා යි. මා ඇයගෙන් බලාපොරොත්තු වූ සතුට ඒ මුහුණෙන් නොපෙනුණි.ඒ වෙනුවට නිරායාසයෙන් ම අයගෙන් අතක් කන වෙත යනු මම නිරික්සමි. එහෙත් එහි තිබුනේ හිස් බැල්මකි.
මොහොතක් සිට ඇය "වැඩි වයසක් නැහැ නේද?" යනුවෙන් මගෙන් විමසන්නීය. "අවුරුදු 57 යි" යලිත් මම Google Transcribe එකෙන් ඇයට පවසමි.
ඒ ඇය හා මා සන්නිවේදනය කරන එක ම ක්‍රමයයි. ගුරුවරියක වූ ඇය 2001 සිට පුර්ණ "ශ්‍රව්‍යාබාධිත / බිහිරි" තත්වයෙන් පසුවන්නීය. ඒ හේතුවෙන් ම, දශක දෙකකට අධික කාලයක් පුරා ඇය මානසික අවපීඩනයෙන් පෙලෙන්නීය. එය ඇයගේ වරදක් නොව, ලාංකික මජර දේශපාලනයේ තිබෙන කාලකන්නි බවේ ප්‍රතිඵලයකි. මේ ඇය විසින් අවුරුදු ගානකට පෙර මා සමග පැවසු ඇගේ කතාවයි.
දිනය : 2001 වසරේ දෙසැම්බර් මස දවසක මැතිවරණ දිනය.
ඒරාවති ගුරු මහත්මිය තම අසල ගමේ මැතිවරණ රාජකාරි කරමින් සිටි. මැර කණ්ඩායමක් පැමිණ දිගට හරහ ට වෙඩි තියමින් යනු ඇය තුෂ්නිම්භූතව බලාගෙන සිටි. චන්ද පත්‍රිකා උදුරා ගැනීමට එන මැර කණ්ඩායමේ ඔබත් මාත් හදුනන ප්‍රධානියා ඇයට දැඩි ලෙස පහර දී මීටර් කිහිපයක් බිම දිගේ ඇදගෙන යයි.ඇයට අනුව "මැරිලා ඇති" යනුවෙන් කවුදෝ පවසන හඬ ඇයට ඇසුණු අන්තිම හඬ යි. එය ද ඇය මනසින් සාදා ගත හඬක් ද සත්‍ය හඬක් ද යන්න දන්නා අයකු නොමැත.
ඒ පහර දීමෙන් ඇයගේ කන් දෙකෙන් ම තදබල රුධිර වහනයක් සිදු වුව ද රෝහල ඇයව බාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ පොලිස් පැමිණිල්ලක් ලියා නැති හේතුවෙන් යැයි ඇය පවසන්නීය. පොලිස් පැමිණිලි අංශය ඒ පැමිණිල්ල පොතේ ලියා ගැනීම වෙනුවට "අවම බලය" යොදා ඇයව පොලිසියෙන් පිටමන් කිරීමට යුහුසුළුව ක්‍රියාත්මක වෙයි.
එයට අමතරව පැමිණිල්ලේ ප්‍රතිවිපාක කියා දීමට ශ්‍රී ලංකා පොලිසීය "කාරුණික" වෙයි. ඇය පවසන පරිදි මැරයන්ගෙන් ජීවිතය බේරා ගැනීමට වන සටනකදී ශ්‍රව්‍යාබාධිත වීම නොගිනිය හැකි තරම් කුඩා හානියකි.
අවසානයේ මගේ බිරිද ඇයව "රහසිගතව" පුද්ගලික ප්‍රතිකාර සදහා යොමු කර උණුසුම අඩු වූ පසු රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර සදහා යොමු කරවයි. නමුත් ඒ වෙන විට හානිය සිදු වී හමාර ය.
පසුව පුර්ණ ශ්‍රව්‍යාබාධිත වීම හේතුවෙන් ඇය "medical condemn" ලෙස විශ්‍රාම ගන්වනු ලබයි. ඇය වෙනුවෙන් කිසිවකු සටන් කිරීමට තරම් ධෛර්යවන්ත නොවීම ඒ සමාජයේ මිනිසුන්ගේ වරදක් නොවේ. ඒ මිනිසුන් හුරු වූ අත්දැකපු සමාජයේ ජිවිත වලට දුන් වටිනාකම එයයි.
අද සටහන (නැවතත්)
"රත්වත්තේල අපේ නෑදෑයෝ වෙනවා. අනුරුද්ධ ලොහාන් ට බැනලත් තිබ්බ ඕක ගැන කියල. කලබලේ ට ලොහාන් ට මාව අදුරගන්න බැරි වෙන්න ඇති" ඒ අද ඇය සිතන අයුරුයි. ඇය මිය ගිය ලොහාන් ගැන අද සිතනුයේ එය ඔහුගෙන් සිදු වූ අත්වැරැද්දක් විනා ඔහු චේතනාන්විතව නොකරන ලද්දක් ලෙසය. ඇයගේ අධිකරණ තීන්දුවෙන් ලොහාන් ට මරණය වෙනුවට නිදහස දී ඇයද නිදහස් වී ඇත.
නමුත් ඇය ඊයේ නැවතත් මනෝ වෛද්‍යවරයා හමුවීමේ අවශ්‍යතාවය මට පෙන්වා දුන් හේතුව මට අපැහැදිලිය. මම වෙලාවක් වෙන් කර ගතිමි.
මෙම ලිපියේ අරමුණ ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම නොවේ. මේ සිදු වීම් ගැන කිසිදු සාක්ෂියක් හෝ පැමිණිල්ලක් "පොලිස් පොතේ" නොමැත. අද ඇය ඇයගේ "නිහඬ පරිසරයේ" කිසිදු ආර්ථික සාමාජයීය අපහසුතාවයකින් තොරව ජීවත් වන්නීය. ලොහාන් ගේ මරණය ඇය පිළිගත් ආකාරයේ හා අද Facebook comments වල වෙනස දැක මෙය ලියා තබන්නට සිත් වුනි.
No comments:
Post a Comment
හිතෙන දේ කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න