Thursday, December 26, 2013

දයාබර පෙම්වත.....


අසම්මත ප්‍රේමයේ ඵල දරනු දැක, මගෙන් සැඟව ගිය ඔබ වෙත.......

දයාබර පෙම්වත...
බිම තැබුයෙමි ඔබ දුන්
පොරොන්දු පොදිය....
දස එකඩ මස දුක් විඳ...
පරපුරෙන් සඟවා...

මා බිලිඳු කිරි කැටි
වත කමල වන් රන් තැටි
සිනා සුනි පුතු මොළ කැටි
අතැර දැමි මා දුක් කැටි

පිපාසිත ඔබ ගත
බැඳී පවෙහි ඵල නොව
පුත ජනිත කල පින වෙද
නොකර පුත දිවි තොර..

පුතු වූවන දුටුවන
සිහි වෙයි ඔබගෙ වත මල
සිහි වෙයි ඔබගෙ මද හස

නැග එයි මතක ඒ දින
ඔබ හා බැඳුනු ඒ දින
ඔබ දොළ සපිරු ඒ දින
පුතු තිලින කල ඒ දින
ඔබ අහිමි වූ ඒ දින

Wednesday, December 18, 2013

සතුට බෙදා ගැනීම

(අන්තර්ජාලය ඇසුරෙන් උපුටා ගත් කථාවක් ඇසුරින් කරන ලද පරිවර්තනයකි)

නිමල් හා සුනිල් ක්‍රියාන්විතයේදී බරපතල ලෙස අනතුරු වලට ලක්වී රෝහල් ගත කල හමුදා සෙබළුන් දෙදෙනක්. ඔවුන් දෙදනා සඳහා එක ළඟ තිබුණු ඇඳන් දෙකක් වෙන් කර තිබුණ. පෙර හමු නොවුන ද ඔවුනොවුන් හඳුනා ගත් පසු ඉතාමත් දිගු කාලයක් දැන් ඇඳින ගත් අය මෙන් ආ ගිය තොරතුරු, පවුල් වල විස්තර කතා බහ කර ගත්ත.

එක දිගටම රාජකාරි කල ඔවුන ට ඇඳකට වී නොසෙල්වී ගෙවන මේ ජීවිතය ඉතාමත් නුහුරු වුනත්, සෑම විටම නිමල් සුනිල් හා පිළිසඳරේ යෙදීම, සුනිල්ට ලොකු අස්වැසිල්ලක්. සුනිල් ට ඇඳෙන් හිස එසවීමට වත් නොහැකි වුනත්, නිමල් ට උපදෙස් දී තිබුනේ දිනකට පැයක් ඇඳෙහි ඉඳගෙන සිටින ලෙස. වාසනාවට, නිමල් සිටිය ඇඳ තිබුනේ ජනේලයක් අසල.

නිමල් සැමදාම ඒ පැය තුල ජනේලයෙන් එළියේ වන සිද්ධි විස්තර කරනවා. රෝහල මායිම් ව තිබුනේ උද්‍යානයක ට. කුඩා පොකුණක තාරාවන් පීනන අයුරු, කුඩා ළමුන් දෙදෙනෙකු ක්‍රීඩා කරන අයුරු නිමල් විස්තර කරනවා, සුනිල් ට අහ ගෙන ඉන්න. සුනිල් සිය ළමා කාලය සිතින් මවා ගන්නවා, මොනතරම් සුන්දර ද.

දැන් සුනිල් හැමදාම, නිමල් ගේ පැය ගැන බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා, එළියේ වෙන දේ දැන ගන්න. පෙම්වතුන් දෙදෙනෙකු අතිනත පටලවා ගමන් කරනයුරු නිමල් ලස්සනට විස්තර කරනවා, හරියට සුනිල් ගේ අතීත ප්‍රේමය වගෙයි. සුනිල් ඇස් පියාගෙන මනෝ ලෝකයේ සරි සරනවා. දෙදෙනාටම දෙදෙනාගේම අසනීප අමතකව ගොස් ඇති හැඩයි. නිමල් වැනි හොඳ මිතුරකු ලැබීම ගැන සුනිල් දෙවියන් ට ස්තුති කරනවා. මිතු දම යනු සිත කඩා වැටුණු විට ගොඩ ගැනීම යි..

කාලය සෙමින් ගෙවී ගියා..

එක හිමිදිරි උදයක, නිමල් කාටත් හොරෙන් සිය දෑස සදහටම පිය ගත්ත. ඒ මුහුණේ සිහින් හසරැල්ලක් නැගී තිබෙනු සුනිල් දුටුවා. සමහර විට ඔහු ට උද්‍යානයේ දුටු දේ නැවත මතක් වෙන්නට ඇති... සුනිල් සිතුවා. සිය ප්‍රාණ සම මිතුරා, තමා වෙනුවෙන් ලොව දුටු මිනිසා ගේ වියෝව සුනිල් ට දරා ගැනීමට අපහසුයි. නමුත්, ළඟදීම ඔහු නිමල් ලඟට යන බව ඔහු ද දැන සිටිය. සිත හදා ගැනීමට එයම ප්‍රමාණවත්.

සුනිල් හෙදිය ගෙන් කාරුණික ඉල්ලීමක් කළා. නිමල් සිටි ඇඳ ඔහුට ලබා දෙන ලෙස. නිමල් සිටි ඇඳට ගොස් ඉතා අපහසුවෙන් ඔහු ජනේලයෙන් එබිකම් කරා..

පුදුමයක්...ජනේලයෙන් පිටත බැලූ විට පෙනෙනුයේ තවත් බිත්තියක් පමණයි..

කිසිවක් සිතා ගත නොහැකි වූ සුනිල්, හෙදිය ගෙන් මේ ගැන විමසුවා..

"එයා mission එකේදී උන බ්ලාස්ට් එක නිසා ඇස් දෙකම පෙන්නේ නැතුවයි මෙහෙට admit කලේ..."

එය හෙදිය ගේ පිළිතුරයි....

සුනිල් ට ලෝකය මොහොතකට නැවතුනා වගෙයි. කිසිවක් සිතා ගත නොහැකි වුණා.. ලොව නොපෙනෙන ඔහු, තමන් ට දෑස වුණ අයුරු, එම කැප කිරීම සුනිල් ව පුදුමයට පත් කලා. දින කිහිපයක් අවෑමෙන් සුනිල් ද සිය පෙනෙන දෑස සදහටම වසා ගත්ත. සමහර විට ඔහුට ඒ පැතු විදිහට දෑස දුන් මිනිසා හමු වන්න ඇති...


----------------------

මිතුරනි..........

අප මිතුරන් සමග දුක බෙදා ගත් විට දුක අඩු වේ. නමුත් අප මිතුරන් සමග සතුට බෙදා ගත් විට, එය දෙගුණ වෙයි.. මන්ද ඔහු සතුටු වන දෙස බලා අප නැවත වරක් සතුටු වෙන බැවින්. ඔබ ට ලොව ජය ගැනීමට අවැසි නම්, මිල කල නොහැකි , මුදලට ගත නොහැකි සතුට අන් අයට බෙදා දෙන්න. නිමල් මෙන් ඔබට සතුටින් දෑස පියා ගත හැකි වේවි. තමන් ගැන නොසිතා අනුන් සතුටු කිරීමෙන් තමන් ද නිරායාසයෙන් සතුටු වන බව සිහි තබා ගන්න.

(අන්තර්ජාලය ඇසුරෙනි)


Thursday, November 7, 2013

දෙවියන් නොදුටු.. දෙගුරුන් දුටු .. මා විරහව

ම සිත ඉකි බිඳින සර
ඔබට ඇසෙන සඳ
ගොළුව ඇත ඔබේ හඬ
නිහඬ වත රකිමින්...විපිලිසරව...

වරමක් අයදුවෙමි
අවදි කරන ට ඒ සර
දොඩමලු වනට මා හා..
ගොළු කරවනට ඉකි බිඳුම

දිවි සැරිය සරණට
ඉටු දෙවි නොදුටු අයැදුම...
කුල දෙවි සරණ වූ සඳ....

නිහඬ වත අත හැර
දකිමි මා ම සිත...
දකිමි මා ඉකි බිඳුම....ගොළු වන අයුරු 

Monday, September 30, 2013

මම දකින නොමියෙන ආදරය

මෙය සාහිත්‍ය රසයෙන් අනුන පෝස්ටයක් හෝ ජීවිතයට යමක් සිතීමට එකතු කරන පෝස්ටයක් ලෙස මම නොදකිමි. මෙය හුදෙක් මගේ ආදරය පිලිබඳ ඇති හැගීම් පමණි.


මම එක්තරා බ්ලොගයක මිය ගිය ආදරයක් පිලිබඳ ලිපියක් දුටිමි. මා අදහන ආදරය නම් හැගීම් වල එකතුවක් පමණෙකි. හැගීම් නොමියෙත්. මා දකින එම හැගීම එක් අයකු පිළිබද අනෙකා ට දැනෙන අතාර්තික, විටෙක එකක ට එකක් නොගැලපෙන, එහෙත් සුන්දර හැගීමකි. එම හැගීම් මිය යාමට පැතීම ද අනුවන කමකි. මන්ද, එවන් හැගීම් ජීවිතය පුරාවට, මා සමග, මගේ යටි සිත සමග ජීවත් වෙයි.

නමුත් විවිධාකාර හේතුන් නිසාවෙන් එම හැගීම් යටපත් කරගැනීමට මම අනවරත උත්සාහයක නිරත වන්නෙමි. එය අසමත් වන මම ඒ සදහා විකල්ප සෙවීමට උත්සුක වෙමි. මම අදහන එක සත්‍යයක් ඇත. එනම් මිනිසුන් තමන් ගේ අනාගතය දෙස බලන්නේ, තමන් ගේ සිත සතුටු වන අයුරින් මිස, සම්පුර්ණ යථාර්තය ලෙස නිරුවත් මනසෙකින් නොවේ. බහුතරය අතරමන් වන්නේ මෙහිදීය. මා ඇයගෙන් බලාපොරොත්තු වූ ඒ හැගීම මගේ ආදේශකයෙන්(විකල්පයෙන්) බලාපොරොත්තු වන්නේ මා තුටු වනයුරිනි. නමුත් එහිදී ඉස්මතු වන හැගීම අතීතයේ මට දැනුන හැගීමට, මා හඹා ගිය හැගුමට සම නොවෙයි.

මම පළමුවෙන් මා දේදුන්නක් දුටු දින සිහියට නගා ගනිමි. දේදුන්නක් ගැන අසාවත් නැති මා, එය දුටු විට කෙතරම් විස්මයට පත් වුනි ද? සතුටු වුනි ද?. එය සියුම් ව නිරික්සීම ට එහි ඇති චමත්කාරය මා නිරායාසයෙන් පොළඹවයි. එම දේදුන්න නොපෙනී යාමේ වියෝව, නැවත එම දේදුන්න දැකීම ට මා හට විධාන කරවයි. වෙනත් දවසක එම දේදුන්න නැවත දුටුව ද එහි ඇති චමත්කාරය මා හට නැවුම් ලෙසින් නොසිතේ. මන්ද මා එය වරෙක අත්විද ඇති බැවිනි. තම දිවියේ මුල් ම අත්දකුමේ ඇති ගුප්ත චමත්කාරය මා හට අනාගතයේ කිසිදු දිනෙක නොදැනේ. නමුත් ම සිත එය නොපිළිගෙන, නැවත නැවතත් දේදුන්න වෙනත් අයුරින් විශ්ලේෂණය කරවයි. අවසන මට ද නොදැනීම, මම විඩාවට හා දුකට පත්වෙමි. එය මගේ පළමු පෙම හා ඉන් ඇතිවන හැගීම නැවත වරක් බලාපොරොත්තු වීම යන්නට හොදින් ගැලපෙයි. 

සොබා දම යනු එයයි. මිනිසුන් නොතිත් ආශාවන් පසුපස ලුහුබදින්නේ, කතරක තනිවුවෙකු, මිරිගුවක් පසුපස යන්නක් මෙනි. මගේ පළමු ආදරයේ චමත්කාර හැගීම් මම සුරැකිව තබා ගනිමි, එම හැගීමට ගරු කරමි.  වියපත් වූ යම් දිනෙක මා ඒ දෙස බලා, වෙනත් ඇසකින් ඒ දෙස බලා සතුටු වනු ඇත.

අපට මේ ලොව සෑම දෙයම නතු කර ගත නොහැකි බව පිළිගත යුතුව ඇත. කෙතරම් තර්ක කල ද මා දකින ආදරයේ අභිමතාර්ථය, අයිති කර ගැනීම මිස අන් කවරක් ද. අයිති කර ගැනුම යනු යම් තාක් දුරට මා පෙර කියූ පරිදි, අපගේ අනාගතයේ අප දකින සිහිනයේ අනෙක් පාර්ශවය කොටස් කරුවකු වීමය.

මා කියා වූ පොතක "සන්තියාගු නම් සරි සරන්නා (පවුලෝ කොය්යෝ)"එඩේර කොලුවා පූජකයකු නොවී එඩෙරකු වීමට හේතුව මා සිත් ඇද ගනී.

මා පූජකයකු වුයේ නම්, සැමදාම දකින එකම අය මා ඇසුරු කරනු ඇත. මම ඔවුන් වෙනුවෙන්, ඔවුන් ගේ යහපත වෙනුවෙන් කටයුතු කරනු ඇත. නමුත් ඔවුන් මා සිතන අයුරින් කටයුතු නොකරනු දුටු විට මගේ සිත කලකිරෙයි. එඩේර ජීවිතයේ බැදීම් ඇති නමුත් ඒවා තාවකාලිකය. (උපුටා ගැනීමක් නොවේ , අදහස පමණි )

මම පූජකයකු නොවී එඬේරෙකු වෙමි.

Friday, September 20, 2013

ඇය ඔහු හා මම - අසම්මත ප්‍රේමය?

සහසක් බුදුන් බුදුවන හිම්දිරි උදය..
පුබුදුවයි ම ගත සියුම් සතුටින්..
කිතිකවයි ම ගත ඇගේ සිහිලැල් මුවින්..
තුටු කරයි ම සිත එ තෙත් බවෙන්.. එ සිහිලසින්..
අත යොමයි ම ඈ හිස පිරිමදිමින්


තරු කැට වන් දෙඇස දක්වා..
සිනා සුනි ඈ එ හුරු අයුරින්..
කතා කල ඈ ඒ හුරු බසින්..
දක්වනට මෙන් එ කලෙහි ගුණ..


දැවටෙමින් ම ගත.. සුරතල් වූ ඇය
බලා සිටී නිසොල්මන් ව..ම අහර සකසනයුරු..
පුදනෙමි මම ඇයට .. ම අහර කොටසින්..
තුටු වෙමි මම ඇ දෙස බලමින..
තුටු වෙයි ඇය ම දෙස බලමින..


බලා හිදී ඇය ම දෙස..සැරහෙන ම දෙස
කරනට ම ගත සරිය.. කරනට ඇ ගත සරිය..   
දොඩමලු වන්නීය ඈ.. ඈ හුරු ඒ බසින්..


ම දෙපා අත ගත් ඈ..
සමුදෙන්නීය..ඇයට හුරු අයුරින්..
සමු දෙමින් මම ඈ.. මට ම හුරු අයුරින්..
සිහිකරමි එ නිකැළැල්.. සසරගත එ බැදුම


දවස නිම කල මා.. පැමිණි නිවසට..
දකිමි ඈ ම සිප ගත් යුරු.. ඇයට හුරු අයුරින්..
තුටු වෙමි මම ඇ දෙස බලමින..
තුටු වෙයි ඇය ම දෙස බලමින..


දිනෙක සරි නිම වූ මා.. ඇදෙමි හුරු නිවස දෙස..
දකිමි දසුනක් සිත් සසලන..
ඇ සිත් ගත් ඔහු වෙත.. වෙලී ඇත ඈ සෙනෙහින්..
ලොව දහම දුටු මම.. දකිමි මැදහත් සිතකින්..


ඇය ම පිළිගති.. කිසිවක් නොසිදු අයුරින්..
ඔහු මා වෙත පැමිණ.. පෙන්වයි හිතැති දැක්මක්..
පිළිගති ම එ දෙදෙන.. රකිනෙමි ම එ යුවල

....
.............
............
...............
.....................
.......................
..............
..................
............................
..................................
.................................
.............................
..........................
.............................
.......................
............................




ප.ලි: තනිකඩ දිවියක් ගෙවන මා විසින් හදා වඩා ගන්නා ලද සුරතල් බැල්ල, තවත් බල්ලකු සමග පැමිණ ගේ දොරකඩ ට වී සිටියි. මම ඔවුන් දෙදෙන ඇති දැඩි කරමි.

      

Saturday, September 14, 2013

මගේ (අව)මගුල හා ඇය

ගත පිරූ දාහය.. නිවෙයි අසුරු සැනින්.. හිරු දුටු කදෝපැනියෙකු ලෙද..
දුහුළු මලක මෙන් ම සිත.. සරයි ගගනත..
දකිනෙමි ම ගත... බිදී විසිරී අසරණව.. බලනෙම් මම විපිලිසරව.. මගෙම වූ ගත දෙස..

සඳුන් සයනෙක මම.. වැතිරෙමි මගුල් ඇදුමින්..
සැප රියක සැතපී .. සෙමින් යමි ම නිවස දෙස
සැරහූ මග දෙපස.. ගොක් කොළ රටා දුටු වන
නගයි මතකයට මා මංගල දිනය...

ම පිලිගැනුමට ඇය..බලා හිදී ඉදිකඩ..
සත් මාල නොපලදා.. අබරණ ද හැර පියා..
මගුල් ඔසරිය හැර ද...සුදු වතින් සැරහී..

හැඟුම් තොර මිනිසුන්.. වඩා හිදුවයි පෝරුව මත..
ම වට කල දළ දෙක.. නගයි මාගේ ඔද තෙද..
ඇය පෝරුවට නැංවූ.. පියාණන් ඇ අත ගෙන...එබිකම් කරයි ම දෙස..
ජයමගුල් හඬ නොව.. හැඬුම් වැලපුම් නද මැද..
සිහි මදවූ ඇය .. ම හිඳවූ පෝරුව.. පිලිකෙවූ කරන යුරු.. දකිමි ගගනත හිඳ..

ඇ සිත කියවමි මම ... 
දැඩි සොවද විරහවද..පරයා නැගී සිටගත්..
තම අනගත දැකුම..තම අනගත රැකුම..
කරවයි ම සිත කම්පිත..වඩවයි ම සිත දොම්නස..
අත් හරිමි මම ඇය.. මා දෙවැනි කොට සැලකු.. 

ම මිතුරු සැම දෙන.. වට කොට ගත් ම ගත..
සොව බර දෙනයනින්.. බලා හිදී නිසලව

තුරල් වූ සෝ නද...යොමයි දෙසවන වෙනතක
වීදුරු ගැටෙන හඬ...මවයි උත්සව සිරිය..
පැණි බීම සහ කෝපි.. පිදෙයි ආ උන් වෙත..

නිසා යම එලබී...ම මිතුරන් ගොනු වී...
විදියි දිවියේ සොම්නස ..
දුමින් පිරි ල මඩලින්...සිනහ පිරු එ වතින්

වියපත් මිත්තනිය.. රකියි මා තනි නොතනිය..
හැර දැමු ම දිවිය.. රැකුමට යමක් පෙනිණි ද..

ගගනත සරණ මම..නවතිමි දුටු එ දසුනින්
රහසිගත මා පෙම..
පැමිණ ඇත මා දැකුමට..
සිය පති ද පුතනුවද..
කැටුව ඇත මා දැකුමට..

අසම්මත ම පෙම..
සිය සොව පිට උනට..
පෙන්වා යන්තමින්..
සිර කර ගති එ හැගුම...
ලොවට සැඟවූ එ හැඟුම..

සිය පති ය මග හැර..පැමිණි ඈ මා ගත වෙත..
සිපගති ම නළලත.. ලොව දැකුමෙන් සැඟව..
රූරා වැටුණු එ කදුල..
සිපගති ම නළලත.. ලොව දකිනට හැකිව..

ඇ සිත කියවමි මම ...
දකිමි තෙරපන එ විරහව.. දකිමි නිරතුරු පෙලන ඒ සොව..
අන් අරමුණින් තොර වූ.. මවුවත් ගුණය සැගවූ..

රොක් වී සනුහරය..
ගයති මා සතු ඒ ගුණ..
නගයි මතකට මංගල සබහව..
මම නොදත් ඒ ගුණ..
සිනහ නංවයි ම සිත...

සඳුන් දර සෑයෙක.. මහල් සතෙකින් පායෙක..
ඇතුළු කල මා දෙන..මවයි සුවිසල් දසුනක්..
දහසින් බැදී පියෙලි.. දිය කල හැරිය එ සොහොන..
මවයි සුවිසල් දසුනක්.. මිලෙහි ඔද තෙද මේ යැයි..

දවයි ම ගත.. සදුන් දර සෑයෙහි..
නිවයි ම සිත.. දුටු දහමින් ලොවෙහි..
සරයි ම සිත.. ලබනට බැඳුම ගතෙහි..
පතයි මසිත..වෙලෙනට ඇයගෙ කුසෙහි..

Monday, September 9, 2013

සංසාරගත බැදීම - ඩෙජා වූ (Deja Vu)



පහන් දොර හිරු සිඹින
විකසිත වු දහස් පෙති මල
නෙලනු රිසියෙන් මම
ඇරයුම් කරනුයෙමි
මදහස ඉතිරු මුවගින්

මටසිලිටු එම වත
කුළුදුලේ දුටු වද
හැගුණි මල පෙර දින
හමුව ඇති බව
නුහුරු හුරු බවෙකින්...
නුහුරු හුරු පෙදෙසක....

මද පවනට හැරුණු
දහස් පෙති මල නෙත්කළු
මදහසින් දෙයි පිළිතුරු
නුහුරු හුරු බවෙකින්...

කටොර බිම සන්තක
පර සතු පිපුණු කුසුමෙක...
පහස ලබනට මම
පිරූ පිරුමන් මද විද..
මබිම පිපෙනට ඇය
පිරූ පිරුමන් මද විද..

නුහුරු හුරු බව අද
පෙළයි මසිත කුරිරුව
වඩයි සරතස ම ගත
සොයා ගති මා පිළිතුර

නුහුරු හුරු බව අද
රළු විදු ඇසින් දුටු මම
අරුමයක් නොව එය
ඩෙජා වූ ලෙස සොයා ගති මම










කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...