Thursday, December 26, 2013

දයාබර පෙම්වත.....


අසම්මත ප්‍රේමයේ ඵල දරනු දැක, මගෙන් සැඟව ගිය ඔබ වෙත.......

දයාබර පෙම්වත...
බිම තැබුයෙමි ඔබ දුන්
පොරොන්දු පොදිය....
දස එකඩ මස දුක් විඳ...
පරපුරෙන් සඟවා...

මා බිලිඳු කිරි කැටි
වත කමල වන් රන් තැටි
සිනා සුනි පුතු මොළ කැටි
අතැර දැමි මා දුක් කැටි

පිපාසිත ඔබ ගත
බැඳී පවෙහි ඵල නොව
පුත ජනිත කල පින වෙද
නොකර පුත දිවි තොර..

පුතු වූවන දුටුවන
සිහි වෙයි ඔබගෙ වත මල
සිහි වෙයි ඔබගෙ මද හස

නැග එයි මතක ඒ දින
ඔබ හා බැඳුනු ඒ දින
ඔබ දොළ සපිරු ඒ දින
පුතු තිලින කල ඒ දින
ඔබ අහිමි වූ ඒ දින

Wednesday, December 18, 2013

සතුට බෙදා ගැනීම

(අන්තර්ජාලය ඇසුරෙන් උපුටා ගත් කථාවක් ඇසුරින් කරන ලද පරිවර්තනයකි)

නිමල් හා සුනිල් ක්‍රියාන්විතයේදී බරපතල ලෙස අනතුරු වලට ලක්වී රෝහල් ගත කල හමුදා සෙබළුන් දෙදෙනක්. ඔවුන් දෙදනා සඳහා එක ළඟ තිබුණු ඇඳන් දෙකක් වෙන් කර තිබුණ. පෙර හමු නොවුන ද ඔවුනොවුන් හඳුනා ගත් පසු ඉතාමත් දිගු කාලයක් දැන් ඇඳින ගත් අය මෙන් ආ ගිය තොරතුරු, පවුල් වල විස්තර කතා බහ කර ගත්ත.

එක දිගටම රාජකාරි කල ඔවුන ට ඇඳකට වී නොසෙල්වී ගෙවන මේ ජීවිතය ඉතාමත් නුහුරු වුනත්, සෑම විටම නිමල් සුනිල් හා පිළිසඳරේ යෙදීම, සුනිල්ට ලොකු අස්වැසිල්ලක්. සුනිල් ට ඇඳෙන් හිස එසවීමට වත් නොහැකි වුනත්, නිමල් ට උපදෙස් දී තිබුනේ දිනකට පැයක් ඇඳෙහි ඉඳගෙන සිටින ලෙස. වාසනාවට, නිමල් සිටිය ඇඳ තිබුනේ ජනේලයක් අසල.

නිමල් සැමදාම ඒ පැය තුල ජනේලයෙන් එළියේ වන සිද්ධි විස්තර කරනවා. රෝහල මායිම් ව තිබුනේ උද්‍යානයක ට. කුඩා පොකුණක තාරාවන් පීනන අයුරු, කුඩා ළමුන් දෙදෙනෙකු ක්‍රීඩා කරන අයුරු නිමල් විස්තර කරනවා, සුනිල් ට අහ ගෙන ඉන්න. සුනිල් සිය ළමා කාලය සිතින් මවා ගන්නවා, මොනතරම් සුන්දර ද.

දැන් සුනිල් හැමදාම, නිමල් ගේ පැය ගැන බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා, එළියේ වෙන දේ දැන ගන්න. පෙම්වතුන් දෙදෙනෙකු අතිනත පටලවා ගමන් කරනයුරු නිමල් ලස්සනට විස්තර කරනවා, හරියට සුනිල් ගේ අතීත ප්‍රේමය වගෙයි. සුනිල් ඇස් පියාගෙන මනෝ ලෝකයේ සරි සරනවා. දෙදෙනාටම දෙදෙනාගේම අසනීප අමතකව ගොස් ඇති හැඩයි. නිමල් වැනි හොඳ මිතුරකු ලැබීම ගැන සුනිල් දෙවියන් ට ස්තුති කරනවා. මිතු දම යනු සිත කඩා වැටුණු විට ගොඩ ගැනීම යි..

කාලය සෙමින් ගෙවී ගියා..

එක හිමිදිරි උදයක, නිමල් කාටත් හොරෙන් සිය දෑස සදහටම පිය ගත්ත. ඒ මුහුණේ සිහින් හසරැල්ලක් නැගී තිබෙනු සුනිල් දුටුවා. සමහර විට ඔහු ට උද්‍යානයේ දුටු දේ නැවත මතක් වෙන්නට ඇති... සුනිල් සිතුවා. සිය ප්‍රාණ සම මිතුරා, තමා වෙනුවෙන් ලොව දුටු මිනිසා ගේ වියෝව සුනිල් ට දරා ගැනීමට අපහසුයි. නමුත්, ළඟදීම ඔහු නිමල් ලඟට යන බව ඔහු ද දැන සිටිය. සිත හදා ගැනීමට එයම ප්‍රමාණවත්.

සුනිල් හෙදිය ගෙන් කාරුණික ඉල්ලීමක් කළා. නිමල් සිටි ඇඳ ඔහුට ලබා දෙන ලෙස. නිමල් සිටි ඇඳට ගොස් ඉතා අපහසුවෙන් ඔහු ජනේලයෙන් එබිකම් කරා..

පුදුමයක්...ජනේලයෙන් පිටත බැලූ විට පෙනෙනුයේ තවත් බිත්තියක් පමණයි..

කිසිවක් සිතා ගත නොහැකි වූ සුනිල්, හෙදිය ගෙන් මේ ගැන විමසුවා..

"එයා mission එකේදී උන බ්ලාස්ට් එක නිසා ඇස් දෙකම පෙන්නේ නැතුවයි මෙහෙට admit කලේ..."

එය හෙදිය ගේ පිළිතුරයි....

සුනිල් ට ලෝකය මොහොතකට නැවතුනා වගෙයි. කිසිවක් සිතා ගත නොහැකි වුණා.. ලොව නොපෙනෙන ඔහු, තමන් ට දෑස වුණ අයුරු, එම කැප කිරීම සුනිල් ව පුදුමයට පත් කලා. දින කිහිපයක් අවෑමෙන් සුනිල් ද සිය පෙනෙන දෑස සදහටම වසා ගත්ත. සමහර විට ඔහුට ඒ පැතු විදිහට දෑස දුන් මිනිසා හමු වන්න ඇති...


----------------------

මිතුරනි..........

අප මිතුරන් සමග දුක බෙදා ගත් විට දුක අඩු වේ. නමුත් අප මිතුරන් සමග සතුට බෙදා ගත් විට, එය දෙගුණ වෙයි.. මන්ද ඔහු සතුටු වන දෙස බලා අප නැවත වරක් සතුටු වෙන බැවින්. ඔබ ට ලොව ජය ගැනීමට අවැසි නම්, මිල කල නොහැකි , මුදලට ගත නොහැකි සතුට අන් අයට බෙදා දෙන්න. නිමල් මෙන් ඔබට සතුටින් දෑස පියා ගත හැකි වේවි. තමන් ගැන නොසිතා අනුන් සතුටු කිරීමෙන් තමන් ද නිරායාසයෙන් සතුටු වන බව සිහි තබා ගන්න.

(අන්තර්ජාලය ඇසුරෙනි)