Monday, January 23, 2023

කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා .... 

මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ දේ දැන සිටියා නම් කියනවා ඇත්තේ මෙහෙම 

"නිරිඳුන් නුබේ…ආලේ නිසා

බෝ විපතක් වෙනා..නොවඩින් සදා…

මතු භවයේ මා..හමුවන තුරා…

ආලේ පසෙක ලා…හිඳිමි මෙමා…"


මේ ගීතය ඇසුවා ම මට මෙහෙම හිතුන. ඇත්තට ම කුවේනියට වෙන්න ඇත්තේ කුමක් ද ?


ගැහැණිය "වෛශ්‍යාවක්" කරනුයේ අපේ සිත තුල සිටින සාම්ප්‍රදායික "සලෙලකු" කියන එකට උදාහරණයක් විජය කුවේණි ඉතහාස කතාව. 

කුවේණිය පිළිකුල් කල යුතු යක්ෂ කාන්තාවක් ද ජාතියේ ආරම්භක පුරුක ද කියන දේ අප ගැහැණිය අපට සාපේක්ෂව දකින කෝණයක් පමණයි. මට නම් කුවේණිය තමන් ගේ පෙම්වතා වෙනුවෙන් ජීවිතය කැප කරපු ගැහැනියක්. මේක නිවැරදි කතාව ද කියන එක අදාළ නැහැ. මේක මගේ පරිකල්පනය.

කුවේණිය කපු කටිමින් සිටි ඉතා රූමත් කාන්තාවක් හින්ද විජය ආදරය කරා වෙන්න බැරි ද? පිරිමියකු ගැහැනියක හා ආකර්ෂණය වන එක එක ක්ෂණයකින් වෙන දේ අදහා ගන්න බැරි සාම්ප්‍රදායික පිරිමියා ඇයව වෙස් පෙරලන යක්ෂ කාන්තාවක් බවට පෙරලනවා. ඒක පුරුෂ මුලිකත්වය හේතුවෙන් වුනු දෙයක් ද සාම්ප්‍රදායික රචකයාගේ ලිංගික කුහක කම නිසා උණු දෙයක් ද කියන එක පැහැදිලි නැහැ.

කුවේණිය ඇත්තට ම විජය ට ආදරය කිරීම ඒ සාප්‍රදයිකත්වය එරෙහි ව අරගන තිබුණු රැඩිකල් පියවරක්. එතැනදී කුවේනියට විරුද්ධ වූ අය විජය සමුලඝාතනය කරා වෙන්න බැරි ද? ඕනෑම ආදරවන්තයකු තමා වෙනුවෙන් මේ සා කැපකිරීමක් කරපු ගැහැණිය ව ආරක්ෂා කිරීම ස්වාභාවිකයි මට දැනෙන හැටියට. එතැනදී සමහර විට කුවේණිය විරුද්ධ වෙන්නත් ඇති. සතුරන් මැරීම විජයගේ ක්ෂත්‍රිය ධර්මතාවයක්. අපේ රචකයා ගැහැණියට වරද පටවා ඇය තමන්ගේ පරපුර විනාශ කල යක්ෂණියක ලෙස හංවඩු ගැසීම සාධාරණ වන්නේ ද?

විජය ගේ වෙනත් බිසවක් ගෙන ඒම හා ඒ හරහා කුවේණිය ව අසරණ වී දරුණු මරණයක ට පත් කිරීම මට තෙරෙන හැටියට නම් අතිශය සාහසික ප්‍රකාශයක්. ඔතන තිබෙන්නේ අපේ රචකයා කුවේණිය කෙරෙහි ඇති කරවූ වෛරය ට ඇයවම ගොදුරු කරවා විනාශ කර කුරිරු තෘප්තියක් ලබා ගැනීමක්. මගේ පරිකල්පනය වෙනස්!. විජය රාජ්‍ය සම්ප්‍රදායට අනුව වෙනත් බිරිදක් ගෙන ඒම මට නම් පුදුමයක් නෙවෙයි. එතැනදී අපගේ කතා නායිකාව ඔහුට තිබු අසීමිත ආදරය නිසා අර බිරිද ට විරුද්ධ වෙන්න ඇති. එතැනදි ඇය විජය හැර ගියා වෙන්න ඇති. 

කුවේණිය ගේ ශාපය හරහා අපේ රචකයා මුළු ස්ත්‍රී වර්ගයාට ම අපහාසයක් කරනවා. ! එතරම් ආදරය කරපු අයකු ශාප කර නොහැකියි මට අනුව. ඔව් ඇය දුකින් හඩා වැටෙන්න ඇති. නමුත් ඒ කියූ දෙය ගැන අදහසක් අපට නැහැ. ! එක දෙයක්. කවුරු කොහොම තර්ක කරත් හිතට දැනෙන්න ආදරය කර කෙනෙකු ට වෛර කිරීම කල නොහැකියි. තමන් මොන තත්ත්වයක සිටියත් තමන්ගේ ආදරවන්තයා විනාශ වෙනවා හිතට නගා ගන්න හැකියාවක් නැහැ මට සාපේක්ෂව. එය ශාපයක් නෙවෙයි. වියෝගයෙන් නැගුනු ශෝක ගීතයක් අර හංස ගීතය වගේ. ඇය මිය යන්න  ඇති අර හංස ගීතයේ ආදරවන්තය මැරුණු ශෝකයෙන් මිය ගිය හංසයා වගේ.

මට සාපේක්ෂව අම්බපාලියත්, කුවේනියත්, මගේ මවත් මිනිසුන්ගේ දුක දැකපු, දුක තුනී කරලා සතුටක් ලබා දුන්නු ගැහැණු එකිනෙකට වෙනස් කෝණ වලින්. ඔය තුන් දෙනා ගේ ම පොදු එකම ගුණයක් මම දකිනවා. ඒ තුන් දෙනා ම චේතනාන්විතව තව පරපුරකට ශාපයක් දුකක් වෙලා නැහැ. ඒ ගැහැනුන් ගේ හර්ද සාක්ෂිය ඒ වෙනුවෙන් පෙනී හිටිනවා ඇති. නමුත් අපේ ඉතිහාස කතෘ වරයා කුවේණිය ජාතියට ම ශාපයක් කරලා!

(සත්‍ය කතාව මගේ කතාව වත් රචකයාගේ කතාව වත් නොවී ඒ අතර මැද සිදුවීම් පෙළක් වෙන්න පුළුවන්. ඒ කතු වරයා කුවේණිය කළු චරිතයක් කියන අන්තයේ සිටියදී මම ඇය සුදු චරිතයක් කියන අන්තයේ ඉන්නවා. හේතුව හැමෝම වගේ ම මම කැමති වෙන්නේ මගේ හිතේ තියන දේ එළියේ දකින්න.)





Monday, December 12, 2022

යශෝධරා වත - විමුක්තිකාමී ප්‍රේම කතාව

මේක ගීත විචාරයක් නෙවෙයි.සනත් නන්දසිරි මහත්මයාගේ යශෝධරාවත සමන් ලෙනින් මහත්මය ලස්සනට කියනවා ඇහුනාම මට මෙහෙම හිතෙනවා.!

අප අහල තියෙනවා ලස්සන ප්‍රේම වෘතාන්ත. රෝමියෝ ජුලියට්, මුම්ටාස් සාජහාන්, ක්ලියෝපැට්‍රා මාක් ඇන්තනි, දස්කොන් ප්‍රෙමිලා.. ඔය ලැයිස්තුව ලියාගෙන යන්න පුළුවන් වෙයි පොතක් පිරෙන්න. හැම රටකම සාහිත්‍යයේ සියුම් තැන් ඔය පෙම් පුරාවත් ස්පර්ශ කරනවා. 

තව ටිකක් හිතුවොත් ඔය කතා හැම එකේ ම මොකක් හරි අමුතු "වෙනස්" රසයක් තියෙනවා. ඒ රසය මිනිස්සුන් ව අන්ද මන්ද කරපු හින්ද මිනිස්සුන්ට දැනෙනවා. ඒක දස්කොන් ගේ අසම්මතය වෙන්න පුළුවන්. මාක් ඇන්ටනි ගේ දැඩි කලකිරීම හින්ද ඇති උන ඛේදාන්තය වෙන්න පුළුවන්. රෝමියෝ ගේ "පැටලවීම" වෙන්න පුළුවන්. හැබැයි ඒ එක අවසානයක් වත් සුබදායක අවසානයන් වෙන්නේ නැහැ.

ඒත් මම දකින ලස්සන ම ප්‍රේම කතාව තියෙන්නේ බෞධ සාහිත්‍යයේ. විශේෂත්වය එය එක කතාවක් නොවී කතාවන් සිය ගානක් වීම. අනෙක් විශේෂත්වය, යමකු ඒ කතාවේ අවසානයක් දකිනවා නම් එය අවසානයක් නොවන අවසානයක් ම වීම. ඒ කතාව ඒ කතාවේ ම පැවැත්ම "නැති" කරනවා. අපගේ ප්‍රේමවන්තයා හා ප්‍රේමවන්තිය මරණය දුක නැතුව විමුක්තිය අවසානයේ උරුම කර ගන්නවා  

ඔය බෞධ සාහිත්‍ය කතා ඇත්ත ද නැද්ද කියල තර්ක කිරීම මගේ අරමුණ නෙවෙයි. හැබැයි යශෝධරා සිදුහත් චරිත වල ගොඩ නගනවා ගුණයන් හතරක් සම සීල, සම ශ්‍රද්ධා, සම චාග, සම ප්‍රඥා කියල. සමාන ශීලයකින්, සමාන ශ්‍රද්ධාවකින්, සමාන ත්‍යාගි සිතකින් හා සමාන ප්‍රඥයාවකින් යුතු පුද්ගලයන් දෙදෙනෙකුගේ බැදීම ඇත්තට ම ඉතාමත් ශක්තිවන්තයි. විවාදයක් පවතින්න බැහැ . එක් අයකු අනෙකාව තේරුම් අරන් සිටිනා තාක් කල් ඒ බැදීම කඩන්න කිසිවකුට හැකියාවක් නැහැ.

එහෙම අය දුරින් හිටියත්, කතා බහ නැතුවත් එකිනෙකාව තේරුම් ගන්නවා. හේතුව ඒ අයගේ අවසන් අරමුණ පැවසුවත් නැතත් එකම දෙයක් ("විමුක්තිය") හින්ද වෙන්න ඇති. 

එවැනි බැදීම් මරණින් මතුව පවතිනවා. එහෙම අය සසර ගමනේ දී ඔබට මට හමු වෙලත් ඇති. ඉස්සරහට හමු වේවි. 

මට දැනෙන හැටියට ඒ ප්‍රේමය සාම්ප්‍රදායික විවාහයක් විය යුතුම නැහැ. යම් දෙදෙනකු ඒ සිව් ගුණයන් ගෙන් යුතුව එක ගමනක් යනවා නම්, "මට සාපේක්ෂව" ඒකත් "ප්‍රේමයක්". එතන අයිති කර ගැනීමට වඩා එක්ව ගමනක් යාම ප්‍රමුඛ වෙන්න ඕන. එහෙත් එහෙම සබදතා අප වෙසෙන සමාජයෙන් සැගවිය යුතු වන බරක් නොවිය යුතුයි. යමකු රහසක් නොවන යහපත් ප්‍රාර්ථනා පැහැදිලි සිතින් කරනවා නම් ඒවා ඉටු වන එක විශ්වයේ ස්වභාවයක් වගේම මා වෙනත් ක්ෂේත්‍රයක කල පරීක්ෂණයකදී පුද්ගලිකව අත්දුටු දෙයක්. 

ඔබ විමුක්තිය සොයන්නකු නම් ඔබ අර ගුණ ධර්ම හතර වර්ධනය කර ගැනීමට පුළුවන් "පෙම්වන්තියක  වන්තයකු" සොයා ගන්න. ඒ ප්‍රාර්ථනාව කරන්න. අනාගත සිදුහත් යශෝධරා ප්‍රේම වෘතාන්තය ඔබට නැවත ලියන්න හැකි වේවි දවසක. 


යශෝධරා!

සිතේ නැගුනු කලකිරීම, කුමරිය

ඔබ පමණයි දැන සිටියේ පෙර සිට

සිතේ නැගුනු කලකිරීම, කුමරිය

ඔබ පමණයි දැන සිටියේ පෙර සිට


යශෝධරා!

එයින් මිදෙන මං පෙත සොයනා සඳ

ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර

සමාධියෙන් සිත ඈත දිවෙන විට

පමා නොවී යලි ඇවිදින් මේ දෙස


යශෝධරා!

එයින් මිදෙන මං පෙත සොයනා සඳ

ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර

දයා සිතින් එක බැල්මක් දී නෙත 

කෙමෙන් මැකී යයි යශෝධරාවත 




Thursday, December 8, 2022


දසිස් දිනා රුපු රජුන් නසා

ලොව තෙදින් තමා නතු කලෙන් මෙමා

එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැලක් විනා..

සුනිල් එදිරිසිංහ යන්ගේ ඒ මිහිරි කටහඩ සමග ගැඹුරු අර්ථය දැනෙනකොට මට මතක් උනා simon sinek කියපු කතාවක්.

මේ ලෝකයේ සමහර දේ තියනවා අවසන් නොවන. අන්තයක් නැති. මිනිස්සු අන්තයක් ඇති අරමුණු අන්තයක් නැති දේ වලට යෙදෙව්වාම වෙන්නේ ඔය දේ ම තමයි. හැම රටම ග්‍රහණය කරලා කරන ජයග්‍රහණය යුද්ධයේ අවසානය කියල හිතාගෙන ලෝකේ අල්ලන්න යුද්ධ කරාම ඒ ලෝකය ඇල්ලුවම තේරෙනවා දිනපු දෙයක් නැහැ කියල. ඉතුරු වෙන්නේ කරකිරුනු රජෙක්, මහන්සි වුනු ආබාධිත වුනු හේවායෝ හා රජුට වෛර කරන යටත් වැසියන්.

සාර්ථක ව්‍යාපාරයකට අන්තයක් නැහැ. එතන තියෙන්න ඕන දැක්මක් විතරයි. ඒ දැක්මට වැඩ කරන හැම දෙනාම හදවතට එකග ව අනුගත වෙන්න ඕන. එතැනදී සමාජයට වන වැඩදායි වෙනස ගැන ඒ වෙනස කරන ව්‍යාපාරයේ සේවය කරන මිනිස්සු දැනුවත් වෙන්න ඕන. ඒ දේ තමන්ගේ හදවතින් කරන දාට ඒ කරන දෙය / රැකියාව ගැන ආදරයක්, ගෞරවයක් වගේම අභිමානයකුත් ඇති වෙනවා. එවන් දැක්මක් මිනිසුන් වල්මත් කරන්නේ නැහැ. ඇපල් සමාගම හැදුවේ මුල් කාලේ MP3 player එකක්. ඒ කාලේ ඕව තිබුන. හැබැයි පොඩි වෙනසක් මෙයාල කරා. මෙයාල පෙන්නුවා ඒකෙන් ජිවිත වෙනස් වෙන හැටි. ඕක අරන් ගීත අහල සැහැල්ලුවෙන් දුවල සෞඛ්ය සම්පන්නව ඉන්න හැටි. ඒක මිනිස්සුන්ගේ ජිවිතේ ම කොටසක් වෙන හැටි. ඕක කෙනෙක් ට හොද ප්‍රවර්ධන උපායක් කියල පෙනුනත් ඇත්තට ම steve jobs ට උවමනා උනා මිනිස්සු ගේ ජිවන මට්ටම ඉහලට ගේන්න . ඒක ඒ ආයතනයේ දැක්ම උනා. දැන් මේ දැක්මේ අන්තයක් නැහැ. ඒක අදටත් එහෙම ම තමයි. මිනිස්සු ඇපල් phone එකක් ගන්නේ තමන් ගේ තත්ත්වය පෙන්නන්න. ඕක චීනයේ හැදුවත් මිනිස්සුන්ගේ ඔලුවට යන්නේ California වල හදපු design එක.

Monday, December 5, 2022

Lady Gaga - ලෝකයේ 7 වෙනි බලවත් ම ගැහැණිය අසරණ වීම

 Lady Gaga යනු ඇමෙරිකාවේ සිටින ඇති ප්‍රසිද්ධ ගායිකාවක්, ගීත රචකාවියක් හා නිලියක්. ඇයගේ ආරම්භය ඉතා කටුක හා දුක්මුසු එකක්. ඒ ඇති වන පීඩනය ම ඇයව ඔය තැනට ගෙනියනවා. forbes සගරාව ට අනුව ඇය ලෝකයේ සත් වෙනි බලවත් කාන්තාව.

මේ මෑත කාලින වීඩියෝ එක මට අහම්බෙන් පෙනුනේ. එතැනදී ඇය ලිංගික අල්ලසක් ඉල්ලීම ඉදිරියේ අසරණ වූ ආකාරය ඉතාමත් කම්පනයකින් විස්තර කරනවා. 

නමුත් එතැනදී ඒ කාන්තාව ඒ මෘගයා ගේ නම හෙළි කරන්නේ නැහැ. ඔය තරම් ලිබරල් මානසිකත්වයක් හා බලයක් හිමි ඇය එසේ නොකරන්නේ ඇයි ද කියන ගැටලුව නිරායාසයෙන් මතු වෙනවා.


එය පුරුෂාධිපත්‍යය ද නැති නම් ඔය ක්ෂේත්‍රයේ තියෙන බලය ද? නැති නම් වෙනත් හේතුවක් ද? 

ඕකට පිළිතුර දන්නේ ඇය ම තමයි. 


එතරම් බලවත් කෙනෙකු ට ඇයගේ දුෂකයා හෙළි කිරීමට ශක්තියක් නැති ලෝකයක, අපේ වගේ දුප්පත් රටක දුප්පත් කෙල්ලක රහසින් දුෂණය කර සුදු රෙදි පොරවා ගත්තු කී දෙනෙකු නම් ඇති ද? 


මිනිස්සු වෙනස් වෙනවා කියල හිතුවා ට අන්තිම අඩියට වැටුණු වෙලාවක උනු සිද්ධි සාම්ප්‍රදායික ව පාපිස්ස ට යට කරන එක කරන එක බහුතරයක් කරන දෙයක්. ඔය පාපිස්ස ගසන්න බැහැ කියන එක ට හොදම උදාහරණයක් Lady Gaga ගේ නියෝජනය.




Friday, November 20, 2015

පෙනෙන යදම හා දැනෙන හුය

උපුල් නෙතු යුග දකිනු රිසියෙන 
පෙනෙන නොපෙනෙන දුරට ඇදුන ද
පෙනෙන යදමින් බැඳුන මා ගත..
තොර කරයි මා පතන ඉසිඹුව

සොඳුරු මොහොතක් පතන මා සිත
නොසඟවා සන් කරයි මා අද ... 
සිහින් හුයෙකින් බැදී ගිජිදු බව
යදම සිදුනද හුය නොබිදි බව 

ඇතුන් බැඳ දමන සිහින් දම් වැල ඔවුන් කඩා බිද නොදමනුයේ ඇත්තටම ඔවුන් එය බිදිය හැකි බව නොදන්නා නිසා ද...
නැතිනම් ඇත්තටම එය සිහින් හුයක් ලෙස දැක දැක, එය බිද ගතහොත් ලැබෙන "නිදහස", නිදහසේ නොහැසුරුනු ඇතුට නිදහසක් ලෙස නොහැගෙන නිසා ද ?

Friday, October 30, 2015

ඉන්ද්‍රියයන් දමනය කර නොගත් ඉන්ද්‍ර(ශක්‍ර දේවේන්ද්‍රයා), අසරණ අහල්‍යා හා ගෞතම ඍෂි .. හා වර්තමානයේ අහල්‍යා ගේ පලි ගැනීම

ලස්සන සාහිත්‍ය කතාවක්.. ලස්සන youtube නිර්මාණයක්
ඉන්ද්‍ර දෙවිඳු ගෞතම ඍෂි ගේ සුන්දර බිරිද කෙරෙහි ආශාවක් උපදවා ගනී. ගෞතම ඍෂි පාන්දර නිවසින් බැහැර යන විට, ඉන්ද්‍ර දෙවිදුන් ගෞතම ඍෂිගේ ස්වරුපය මවාගෙන පැමිණ අහල්‍යා හා යහන් ගත වේ . සත්‍ය වශයෙන් ම ඇය සිතනුයේ ඉන්ද්‍ර ඇගේ සැමියා බවයි. නමුත් හදිසියේ නැවත පැමිණෙන ඍෂි තුමන් මෙය දැක ඉමහත් කම්පාවට පත් වී, ඇයගේ අනාචාරී හැසිරීමට ඇය ගලක් බවට පත් වන ලෙස ශාපයක් කරයි ( මෙය පුද්ගලිකව මට ගැටලුවකි, ඇය වරදේ බැදෙන්නේ නොදැනය ). ඉන්ද්‍ර දෙවිදුන් ට "යෝනි" දහසක් මැවෙන ලෙස ශාප කරයි. (එය නම් ඉතා හොද දඩුවමක්). පසුව එම යෝනි දහස ඇස් දහසක් බවට පරිවර්තනය කර ගත්තලු.

( ගෞතම ඍෂි බුදු දහමට කිසිදු සබදතාවක් නැත. මෙය බුද්ධ කාලයට  අවුරුදු දහස් ගණනකට පෙර සිදුවීමකි )
අද අහල්‍යා , ඉන්ද්‍ර ට දෙන දඩුවම බලන්න..


Monday, June 8, 2015

හන්තාන සිහිනේ - යුග දෙකක මුසුව

සුන්දර හන්තාන .. සිය මිහිදුම් සළුවෙන් පෙම්වතුන් සඟවා, පිපි කුසුමින් ඔවුනොවුන් සුවඳවත්  කරන්නීය. පෙමින් වෙලුනු පෙම්වතුන්ගේ සිහින ද වෙන් වූ අයෙකු ගේ විරහව ද නිසලව විදින්නීය, වින්දවන්නීය.. සුන්දර හන්තාන අරණේ සිහින දැකුමට පෙරුම් පුරනා "පෙම්වතියක" හා  තැවෙන පරිණත "පෙම්වතකු" ගේ දෙබස, මිහිරි ගීයකට තෝතැන්නක් වී ඇති සෙයකි.. හන්තාන පෙම්වතියට සිහිනයක් වුව ද, තනි වූ පෙම්වතා ට හා හන්තානට රහසක් නොවීද .. විඳිමු එය ඔවුන් විඳි සේ...

පෙම්වතිය: මා කුලුඳුලේ දුටු හන්තානයේ සිහිනය නෙලා ගනු නොහැකිව මා බලා සිට වැලපුම හැර අන් කවරෙක් කරන්න ද ?

පෙම්වතා: ඔබගේ සිහිනය නෙත් අග රඳවා තබා ගන්න සොඳුරිය .. සිත නැමති මල නෙලා මගේ සංසාරික සිහිනය ගොතන්න..

පෙම්වතිය: හන්තානයේ පබළු වන් මුතු වැස්සෙන්  තෙමෙමින්, ජීවිත රග මඩලේ ඔබ හා තුරුළු වන්නට සිහින මවනෙමි මම ...

පෙම්වතා: නවතින්න ඔබ.. පතිනිය හැර ගිය ජීවිත රග මඩල සොවින්, අමාවක අදුරෙන් පිරී ඇත.. අඳුරේ වල්මත් නොවනු මැන සොඳුර ...

පෙම්වතිය: නොනවතිමි මම, ඉවසා සිටින්නෙමි..ඔබේ අදුරින් පිරුණු රග මඩල ට ආලෝකය ලැබෙන තුරා තරුවක් ව හිඳ අසනෙමි ඔබගේ පෙම් ගී ..

පෙම්වතා: ඔබ වෙහෙසකර නොවන්න පෙම්වතිය ... පසළොස්වක සඳෙහි එළියෙන් මම ඔබව සොයා පැමිණෙන්නෙමි.. එතෙක් හන්තාන ආරණ්‍යයේ බලා සිටින්න සොඳුරිය..

Sung by: W.D. Amaradewa and Umaria
Music - Aruna Gunawrdana
Lyrics - Janaka Siriwardana

Monday, April 13, 2015

පසුතැවීම...

මෙය මා ඇසු දුටු සත්‍ය අත්දැකීමක් ඇසුරෙන් ලියන ලද්දකි. ඔහු මිලියනපතියෙකි..



මිහිරියේ...මා සිත හඬනා සුසුමන් දුටුවෙ ද..

තුරුණු මදෙන් සිත කැලතුන මොහොතක
පිපුණු මලෙන් රොන් ගිලගත් අඳුරේ
ඔබ සිත හඬනා සුසුමන් දුටු සඳ..

පසුතැවු මා හද හැඩුමන් දුටුවෙ ද
මිහිරියේ...මා සිත හඬනා සුසුමන් දුටුවෙ ද..

දහස් පියලි අත ගැවසෙන රිසියෙන..
බමණ මතින් හිස පිරිහුණු යුගයේ
තොර කල අන් දිවි දැකුමෙන් වියරුව

පසුතැවු මා හද හැඩුමන් දුටුවෙ ද
මිහිරියේ...මා සිත හඬනා සුසුමන් දුටුවෙ ද..

සෑම සිරින් පිරිපුන් අද දිනයෙක..
සහස් පියලි අසරණ වූ ඒ මොහොතේ
පිපුණු බිලිඳු මල මිලිනව යනු දැක

පසුතැවු මා හද හැඩුමන් දුටුවෙ ද
මිහිරියේ...මා සිත හඬනා සුසුමන් දුටුවෙ ද..

Sunday, April 12, 2015

ආගමික සහජීවනය ද? නැතිනම් ආගමික මූලය ද?

මක්කම

  • බුදුරදුන් වදාළ යෝනක පුරය වන මක්කමෙහි උන් වහන්සේ ගේ ශ්‍රී පාදය සලකුණු කර ඇත.
  • මුසල්මානුවන් අදහන මෙය නබි තුමන් ගේ උපන් ස්ථානයයි
  • හින්දුන් පවසන්නේ මෙහි "පෙට්ටිය" ඇතුලේ ඇත්තේ ශිව ලිංගයක් බවයි. (ශිව ලිංගය යනු විශ්වයේ ආරම්භයේ නියෝජනයකින් යුත්තකි)

ශ්‍රී පාදය
  • බුදුරදුන් සිරි ලකට වැඩම වූ පසු ශ්‍රී පාදය සලකුණු කර ස්ථානයයි
  • කිතුනුවන් මෙය ආදම් ගේ පාදය ලෙස සලකයි (මෙය විශ්වයේ ඇරඹුම සලකුණු කරන්නකි)
  • හින්දුන් සිරි ලක සුර්ය වන්දනාව කල ප්‍රධානම ස්ථානයයි.. (සුර්යයා හින්දුන්ගේ සර්වාත්මය නියෝජනය කරයි)
කෙටි පොස්ටුවක් වුවත් හිතෙන දේ comment කරන්න

Saturday, October 25, 2014

සඳ දියවී සුනිල දියේ...

රුහුණු විශ්ව විද්‍යාලයේ නංගිලා මල්ලිලා ගේ පොඩි වැඩක්. මෙම ගීතයේ මට නම් ඉහල රසවින්දනයක් දැනෙනවා. ඔබටත් එසේ දැනෙයි ද?




සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ.
තරු මිලින ව අහස තලේ
පිණි බිඳු වී බිමට වැටේ.
තරු ගණිනා අතරතුරේ
පුර හඳ මට මග නොහැරේ.
සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ..

මල් පිබිදී හදගිස්සේ
කොඳ සිතුවිලි ලිහී වැටේ
පියුම් පිපී සිතුම් විලේ
මුවරද මුසු පවන් රොදේ
සුවඳ දැනේ ආදරේ...

සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ.
තරු මිලින ව අහස තලේ
පිණි බිඳු වී බිමට වැටේ..

වන වදුලේ තුරු අතරේ
කඳු අතරේ නිම්න දිගේ
ගං තීරේ රැළි අතරේ
සිත් පත්ළේ නිසන්සලේ..
සැගව තිබේ ආදරේ..

සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ.
තරු මිලින ව අහස තලේ
පිණි බිඳු වී බිමට වැටේ.
තරු ගණිනා අතරතුරේ
පුර හඳ නුඹේ මග නොහැරේ
සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ...

ගායනය : නෙත්මි දසනායක & උමේෂ් දිසානායක
පද රචනය : වර්ෂා රණසිංහ & නජාත් අක්රම්
තනුව : සුසිත චාමිකර

සංගීතය : යහජ කල්හාර

Thursday, December 26, 2013

දයාබර පෙම්වත.....


අසම්මත ප්‍රේමයේ ඵල දරනු දැක, මගෙන් සැඟව ගිය ඔබ වෙත.......

දයාබර පෙම්වත...
බිම තැබුයෙමි ඔබ දුන්
පොරොන්දු පොදිය....
දස එකඩ මස දුක් විඳ...
පරපුරෙන් සඟවා...

මා බිලිඳු කිරි කැටි
වත කමල වන් රන් තැටි
සිනා සුනි පුතු මොළ කැටි
අතැර දැමි මා දුක් කැටි

පිපාසිත ඔබ ගත
බැඳී පවෙහි ඵල නොව
පුත ජනිත කල පින වෙද
නොකර පුත දිවි තොර..

පුතු වූවන දුටුවන
සිහි වෙයි ඔබගෙ වත මල
සිහි වෙයි ඔබගෙ මද හස

නැග එයි මතක ඒ දින
ඔබ හා බැඳුනු ඒ දින
ඔබ දොළ සපිරු ඒ දින
පුතු තිලින කල ඒ දින
ඔබ අහිමි වූ ඒ දින

කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...