Wednesday, July 17, 2013

Ward No 09

දිනය:2013/07/15 පෙ.ව. 11.00
ස්ථානය: පේරාදෙණිය රෝහල. වාට්ටු අංක 09

මම කඩිමුඩියේ පඩිපෙළ නැග දිව ගොස් ward 09 අසල නවතිමි. විනිවිද නොපෙනෙන විශාල දොර අසල කාන්තා ආරක්ෂණ නිලධාරිනියක මා ආ කරණය විමසයි.

“Sir, කාව හම්බ වෙන්නද?”

“මට ward එකේ doctor 11.00 ට එන්න කිව්ව” මම පිළිවදන් දෙමි.
ඇය ඇත ඇති යතුරු කැරැල්ලෙන් ඇය දොර හැර මට ඇතුලට යාමට ඉඩ දෙයි. හෙද සහායිකාවක් පැමිණ ආ කරණය විමසා
“Sir ඉඳගන ඉන්න අද මඩම් ටිකක් පරක්කුයි visit කරන්න, Sir ward එකට නම් යන්න එපා”

ඇය මට උපදෙසක් ද දී සිය සුපුරුදු රාජකාරියක යෙදෙන්නීය. මම කොරිදොරයේ ඇති බැංකුවේ හිද සිටින විට මට වාට්ටුව මැනවින් දිස්වේ. කරන්නට අන් කිසි කටයුත්තක්ද නැත, ජංගමය ද ක්‍රියා විරහිත කර තිබේ.
කාලය සෙමින් ගෙවෙන්නාක් මෙන් මට දැනේ. නැවත වාට්ටුවේ විශාල දොර හැරෙන හඬින් මම තිගැස්සී එදෙස බලමි. හැඩකාර තරුණයකු මදෙසට පැමිණෙයි. අඩි හයක් පමණ උසැති ඔහු ඩෙනිම් කලිසමකින් හා T shirt එකකින් සැරසී, කොණ්ඩය ජෙල් කර ඇත. ආරක්ෂණ නිලධාරිනිය සමග ඔහු කථා කල කුළුපග අයුරින්, ඔහුව සෑහෙන කලක සිට අදුනන අයකු බව තේරුම් ගත හැක. ඔහු මා හා සිනහ සී මා අසලින් හිඳ ගති.

“චිත්රන්ගනී ගේ husband එන්න”

ඒ වාට්ටුව භාර ප්‍රධාන හෙදියගේ කට හඬයි. තලෙළු පැහැයෙන් යුතු, ප්‍රසන්න පෙනුමකින් යුතු යුවතියක ඔහු සිටින කාමරය දෙස වරින් වර එබී බලනු මට දිස්වේ. මම උපන් කුතුහලයෙන් යුතුව ඒ දෙසට අවධානය යොමු කරමි. පැය කාලක අවෑමෙන්, ඔහු සැහැල්ලු, සිනහ මුසු මුහුණින් කාමරයෙන් එලියට එනු මට දැකිය හැකිය. ඔහු කෙලින්ම ඇය වෙත පැය නගමින් ආදරයෙන් වැළඳ ගනුයේ මා ඉදිරියේය.

“අපිට අද ගෙදර යන්න පුළුවන්, සුදු ඔහු අයව අමතන්නේ සුදූ යන ආදර නාමයෙන්. ඇය පස්වනක් ප්‍රීතියෙන් පිනා යනු මගේ මනසට ගෝචර වෙයි.

“හානේ, ඔය අදත් කෑම එකක් ගේනවද?, ඉන්න මට ඔයාට introduce කරලා දෙන්න මගේ බෙස්ට් friend ව, අපි එයාට මේ බත් එක දෙමු.”

මොහොතකින් චිත්රන්ගනී සිය මිතුරිය වන රුවන්ගි අතින් ඇදගෙන පැමිණෙයි.

“මේ තමයි රුවන්ගි, මෙයා හොඳට ඉගෙන ගන තියෙනවා. පේරාදෙණිය agri faculty එකේ final year එකේ දැන්” ඇය සිය සැමියාට සාරාංශ කර දක්වයි. රුවන්ගි වක්කඩ කැඩුවාක් මෙන් සිය කථාව හෙළි කරන්නී

“අයිය, මම agri faculty එකේ අන්තිම අවුරුද්දේ ඉන්න කොට තමයි ලෙඩ උනේ. පේරාදෙණියේදී තනිකම මට ඔරොත්තු දුන්නේ නැහැ නේ. දැන් මට bipolar. මම දැන් හොඳට හිටියට තව ටිකකින් අවුල් තමයි”

රුවන්ගි තම අසනීපය පිලිබඳ හොඳින් දැන කටයුතු කරන්නියක් බව මට පසක් වෙයි. මානසික රෝග වල තත්ත්වය එසේ විය හැක. තම අසනීපය, එයට හේතුව, එය සැදෙන මොහොත දන සිටියද, එය පාලනය කිරීමට රෝගියාට නොහැකිය. ඇයගේ කථන විලාශයෙන් ඇය කිසිදු මානසික ප්‍රශ්නයකින් පීඩා විදින්නියක් සේ මට නොහැගෙන්නේ මා මනෝ විද්‍යාව හදාරා නොමැති නිසා විය හැකිය.

“නංගි, අයිය අදත් මට කෑම ගෙනැල්ල, ඔයගොල්ලෝ බෙදාගෙන කන්න”

චිත්රන්ගනී කුඩා දරුවකු මෙන් සිය සමියාගේ අතෙහි එල්ලී ගමන් කරනු මම නිරික්සමි. ඇයගේ හැසිරීමෙන් ඇය සියයට සියයක් ම නිරෝගී නොවූ සෙයකි. නමුත් ඔහුට ඇය මහා මෙරකි. මෙතරම් කඩවසම් තරුණයකු ඇය හා මෙසේ නික්ම යාම, ඇය ගිලන් වූ පසු නිරතුරුව බැලීමට පැමිණීම, දිවා අහර ද සමග පැමිණීම, මා විස්මයට පත් කරවයි. එහි ඇත්තේ කායික හෝ සමාජයීය බැදීමක් නොව, අනෙකා වෙනුයෙන් කරන අනවරත කැප කිරීමයි. නන්දා මාලිනිය සඳ එලිය සේපිවිතුරු ප්‍රේමය ගැන කවි බසෙන් පැවසීම ට වස්තු වුයේ මෙය විය හැකි ද? එය ඔහු වැනි “නුතන” පෙනුමකින් යුතු, දකින දකින කෙල්ලන් සමග dating යැයි නිදා ගත හැකි පෞරුශයක් ඇති අයෙකු තුල තිබීම ගැන මම තුටු වෙමි. මා තුටු වන්නේ නුතන සමාජය ගැන වපරැසින් බලන්නන් වෙත සිතීමට යමක් තවමත් ඉතිරි වී ඇති බැවිනි.

චිත්රන්ගනී ඇත වනමින් යනු රුවන්ගි දුකින් මෙන් බලා සිටිනු මට පෙනේ. රුවන්ගි ට යෙහෙළිය ගේ වියෝගය ඇගේ bipolar අසනීපය උත්සන්න කරතැයි මට සිතුනද මගේ සිතුවිල්ල සාවද්‍ය ය.

“ෂෙරිල් නංගි, බත් එකක් තියෙනවා බෙදාගෙන කමු.”

අයගේ කෑ ගැසීමට නව යෞවනයේ සිටින ෂෙරිල් දිව ගෙන එන්නීය. ෂෙරිල්, stylish ඇඳුමක් ඇඳ සිටී. ඉතා පිළිවෙලට පීරන ලද බොලට දක්වා දික්වූ ඇගේ කොණ්ඩය මවනුයේ මනස්කාන්ත දසුනකි. මොහොතකට මා සිටිනුයේ කුමන තැනක ද යන්න මට අමතක කිරීමට ඇයගේ රුව සමත් වූ බව මා නොපවසා සිටියහොත් මා කුහකයකු ලෙස මට ම සිතෙනු ඇත.

ෂෙරිල් දිව ගෙන එත්ම
“ආ සුනෙත් අය්යේ, අද ඔයා මාර handsome ආ.... very seductiveවාට්ටුවටම ඇසෙන්නට කෑ මොර දෙන්නීය.

වෛද්‍ය ශිෂ්‍යයකු ද වූ ඔහු විපිළිසර වනුයේ ඔහුගේ අත්දැකීම් හිඟ භාවය නිසා විය හැකිය. සුනෙත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම handsome බව මට පෙනෙයි. එකම වෙනස ඇය ඇයගේ සිතට ආ අදහස නොවලහා හෙළි කිරීම පමණි. එවන් අවංක ප්‍රකාශයක් පිස්සුවක් බවට පත් කරන්නේ අප සමාජයයි.  අප සමාජයීය බැඳීම් මගින්, අපගේ නිදහස් අදහස් ප්‍රකාශනයට විලංගු දමයි. එම විලංගු බිඳ දමා යන්නන් උන්මත්තකයන් ලෙස හංවඩු ගසයි. අපගේ සමාජය උන්මත්තක භාවය මනින මිම්ම සංශෝදනය විය යුතු බව මගේ අවංක අදහසයි. එම අත්දැකීම් වලට ඔබද මුහුණ දුන්නේ නම් ඔබට ද එසේම සිතීම ඒකාන්තය.

කෙළිලොල් යුවතියක් වූ ෂෙරිල්, බත් පත රුවන්ගි සමග බෙදා හදා ගනිමින් කුමක් හෝ මුණු මුණු ගායි.

වෙලාව : දහවල් 12:00

රෝගීන් බැලීමට කිහිප දෙනෙකු පැමිණෙයි. එය වෙනත් වාට්ටු හා සැසදීමේදී ගිනිය නොහැකි තරම් කුඩා ප්‍රමාණයකි. මා ඉදිරියේ සිටින කාන්තා ආරක්ෂණ නිලධාරිනිය ගෙන් මම විමසමි.
“මේ වාට්ටුව, හැමදාම ඔහොම තමයි sir. ලෙඩ්ඩු අවුරුදු ගණන් මෙහේ ඉන්නවා. ගෙදර අයට එපා වෙලා වෙන්නැති මයෙ හිතේ”

එහෙත් හේතුව එයම නොවෙයි. අප සමාජය මානසික රෝගීන් සලකනුයේ ඉතා දරුණු උන්මත්තකයන් ලෙසිනි. මෙවන් රෝගීන් රහසේ වාට්ටුවට ඇතුලත් කර භාරකරුවන් අත පිසදා ගනු, මටත් වැඩියෙන් කාන්තා ආරක්ෂණ නිලධාරිනිය අත් දැක ඇත. සමාජ කතිකාවතකින් මෙම මතය දුරු කල යුතු බව මට සිතේ.

රුවන්ගි ගේ campus රූමට ඇය අමතක කල නොහැකි සෙයකි. ඇය පැමිණි වහාම සාදරයෙන් පිළිගත්තේ ෂෙරිල් විසිනි. ෂෙරිල් ඇය අතින් අද ගෙන ගොස් රුවන්ගිට මුණ ගස්වයි. රුවන්ගි රූමා සමග මොනවදෝ මුණු මුණු ගානු මට පෙනෙයි.

“miss, රුවන්ගි ට වැඩි වෙලා වගෙයි පොඩ්ඩක් ඇහැ ගහගෙන් ඉන්න” එය ප්‍රධාන හෙදි නිලධාරිනිය විසින් තවත් හෙදියක ට දෙන උපදෙසකි.

Let’s Dance!!” රුවන්ගි රූමා අතින් ඇද නර්තනයට ඇරයුම් කරන්නීය. ඇය ලැජ්ජාව සහ සමාජ බැදීම් ඉවත දමා ඇය සමග නර්තනයට එක් වෙයි. අනෙකුත් රෝගීන් වට වී අත්පුඩි තලති. මට කොහේදෝ ඇසු කවියක් මතක් වෙයි.

මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවති
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති

මා දෑස අබියස දිස්වන්නේ එම පදයෙහි අර්ථය ම නොවේ ද? ඇයගේ උතුම් පරිත්‍යාගය ට නිසි තැනක් ලැබිය යුතුය. රුවන්ගි නිරෝගී වූ දිනෙක ඇය කෙරෙහි කෘතඥ වනු ඇත.

මා දෑස අමතක වූ යමක් සොයයි. ඒ ෂෙරිල් ය. ඇය මෙම රංගනයේ කොටසක් නොවීම මා මවිත කරවයි. මගේ යටි සිතට අමතක වූ යමක් මගේ උඩු සිත මතකයට නංවා දෙනු ලබයි. ඒ ඇය රෝගියකු බවයි. එහෙත් මගේ යටි සිත එය පිලිගනුමට මැලි වූ සෙයකි.
ෂෙරිල් වාට්ටුවේ සිය ඇඳට වී ඉකි ගසමින් හඬනු මට දක්නට ලැබෙයි. මම හෙමින් සීරුවේ ඇඳ වෙත පියමන් කරමි.

“අනේ දැන් visits එන වෙලාව..”

“එය ඇවිල්ල ඉන්නවා, මට ඇහුන vehicle එකේ සද්දේ, එයාට එන්න දෙන්න please”
Please Help me on this matter”

“එයා කෑවද දන්නේ නැහැ. එයාට කන්න කියන්න ඕනෙ. මම රුවන්ගි අක්කත් එක්ක කන ගමනුත් ඔය ගැනමයි කිව්වේ රත්තරන්”

“Please මට එක වචනයක් එයත් එක්ක කථා කරන්න දෙන්න. මම දන්නවා එයාට මම නැතුව බැහැ. එයා දුක්විඳිනවා මට බලන් ඉන්න බැහ රුවනි අක්කේ” ඇය හෙදියට ඇවිටිලි කරයි.

මෙය සුජීව ප්‍රසන්නාරච්චි මහතාගේ බොළඳ නව කතාවක දෙබසක් ලෙස යමෙකු ට හැගී යා හැකි වුවද, ඇයගේ ඉරියව්,හැගීම් මා හට කටුක සත්‍යය මෙය යැයි පසක් කරවයි. ඇය සොයන්නේ නැතිවූ අවංක පෙම නොවේද? අවංක බවේ ඉරණම මානසික වියවුල් භාවයද?

“ෂෙරිල් නංගි, එයා මට කථා කරා. කෑම කෑවා ලු. අද වැඩ වැඩි හින්ද එන්න බැරිවෙයි කිව්ව” හෙදිය පිළිතුරු දෙයි

ඉතා කෙළිලොල් සිනහවක් මුවට නගා ගත් ඈ

“ඇති යාන්තම්, එය කෑවා නම් මට හොඳටම ඇති, එය හෙට එයි!!”

වෙලාව : දහවල් 1:00

“ලෙඩ්ඩු බලන්න ආපු අය දැන් යන්න. වෙලාව ඉවරයි” ඒ ආරක්ෂණ නිලධාරිනියගේ හඬයි.
කටකාර ෂෙරිල් ගේ හඬ ඈ පරයා නැගී එයි

“ලෙඩ්ඩු බලන්න ආපු අය ඉඳල ලෙඩ්ඩු දැන් යන්න. වෙලාව ඉවරයි”

එය අයගේ අවංක බලාපොරොත්තුව විය නොහැකි ද? ඇගේ පෙම්වතා සමග දුක සැප බෙදා ගැනීම අයගේ එකම බලාපොරොත්තුව විය නොහැකි ද? දහසකුත් එකක් ප්‍රශ්න එම කියමන හරහා ම සිත හොල්මන් කරයි. මම විසදුමක් පතා ෂෙරිල් ගැන ආරක්ෂක නිලදරිනියගෙන් විමසමි.

“sir, ඔය ළමය කොල්ලෙක් එක්ක case එකක් දා ගෙන පරිවාසෙන් මෙහෙට ගෙනැල්ල දාල දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. නුවර ලොකු ඉස්කෝලෙක ඉගන ගෙන තියෙන්නේ. එදායින් එදා, අද වෙනකම් කවුරු වත් බලන්න ආවේ නැහැ මගේ මතකෙ හැටියට. හැමදාම දවල් 12 ට ඔහොම තමයි”

ෂෙරිල් ගේ කථාව ගැන මම මෙයට වැඩි යමක් නොකියමි. එය සිතා ගැනීම ඔබට භාරය.

“sir, doctor madam sir ට කථා කරනවා” පැය දෙකක බලා හිඳීමෙන් පසුව මා ඇය හමු වීමට යන්නේ දශක දෙකකින් දිවිය පරිනත වූ අයෙකු පරිද්දෙනි.

කතෘ සටහන

මෙය සම්පුර්ණයෙන් ම සත්‍ය සිදුවීමක් වටා ගෙතුණු අන්දරයකි. නම් පමණක්, කථාවේ පහසුව සඳහා යොදා ගනු ලැබිණි. අද ද ඔබ මෙම වාට්ටුවට ගිය හොත් මෙම චරිත ඔබට හමු වනු ඇත.


6 comments:

  1. ෆලෝ කරන ගැජට් එක දාහං ( බ්ලොගර් එක ).

    බ්ලොග් එක සිම්පල් කරහං එන උන්ට පහසු වෙන්න .

    වර්ඩ් වෙරිපිකේෂනුත් අයින් කරන්න .

    කොහේ හරි ලින්ක් දානකොට , "මෙන්න මෙතනින් බලන්න"

    a h r e f අකුරු අතරේ ඉඩ තියනනේ නැතුව දාන්න, මෙහෙම දැම්මේ මේකත් හරි විදිහට දැම්මොත් ලින්ක එකක් වෙන හන්දා

    ReplyDelete
  2. < a h r e f = " " > " " < / a >

    අකුරු අතරෙ තියන ඉඩ අයින් කරලා පලවෙනි කමා දෙක අතරට ලින්ක එක සහ දෙවනි කමා දෙක අතරට ඔයාගේ පණිවිඩය දාන්න

    < a h r e f = " " > " " < / a >

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි ඔබගේ උපදෙස් වලට

      Delete
  3. හොදට ලියල තියෙනව.දිගටම එන්නම්කො කියවන්න.අටම්පහුර සහොදරයත් ඔය නියම උපදෙස් ටිකක් ඩිඑල තියෙන්නෙ.
    නලින් සහොදරයගෙ කමියුනිටි එකක් තියෙනව , එකෙ රෙජිස්ටර් වෙන්න , මම ලින්ක් එක දාන්නම්. තව ගුගල් ප්ලස් බට්න් එකක් අඈතුල් කරගන්න. ඩෑඅශ්බොඑඩ් එකෙ ලෛඅවුට් ටෑබ් එකෙන් පුලුවන් කරගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා. ඉඩක් ලැබුණු සෑම වෙලාවකම ලියන්නම්.

      Delete
  4. https://plus.google.com/u/0/
    communities/105519505123965972702

    ReplyDelete

හිතෙන දේ කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න‍